මේ පත්තර කෑල්ල දැක්කෙ එක්තරා පුවත් පතකින්. මේ අහලා තියන ප්‍රශ්නෙට උත්තර දීලා තියෙන්නෙ ලංකාවෙ දැනට ඉන්න තලතුනා නම ගිය මහාචාර්යවරයෙක්.
මේකෙදි සරලව අහලා තියෙන්නෙ තමන් විවාහ වීමට බලාපොරොත්තුව ඉන්න කෙනා ලේ නෑයෙක් වෙන නිසා එහෙම විවාහ වෙන්න බයක් තියනවා, ඒ නිසා එහෙම විවාහ වෙන්න සුදුසුද කියලා… මහාචාර්යවරයා මේකට උත්තර දෙනවා අංශ දෙකකින්. එකක් සමාජමය පැත්තෙන්, අනික වෛද්‍යවිද්‍යාත්මකව.
ඔහු කෙලින්ම කියනවා මේ විවාහය සමාජ විරෝධීයි කියලා. ඔවුන් විවාහ උනොත් ප්‍රායෝගිකව ඔවුන්ට මුහුණ දෙන්න වෙන අපහසුතා ඔහු විස්තර කරනවා. බය හිතෙන විදියට. ඊට පස්සෙ ඔහු ලේ නෑකමක් නිසා ජාන වලින් එන්න පුලුවන් නිදන් ගත රෝග ගැන යම් අවවාදයක් දෙනවා. ඔහුගේ පිලිතුරේ සාරාංශය වන්නේ මේ මගුල නම් කරන්න එපා කියන එක.
මට තියන ගැටළුව තමයි, මේ ගැන උපදෙස් දීලා තියන ශික්ෂාව සහ දීලා තියන උපදෙස් කොච්චර දුරට විද්‍යාත්මකද කියන එක. මේ ප්රශ්නය අහන කෙනාට මේ ප්රශ්නය උගත්කෙනෙක්ට යොමු කරලා යම් උත්තරයක් ගන්න තියන උවමනාවෙ විද්‍යාත්මක ගතියවත් මේ මහාචාර්ය වරයා දෙන උත්තරේ නෑ.. මම එහෙම කිව්වෙ මේ ප්රශ්නය අහන්නෙ ලංකාවෙ ප්‍රවීන මහාචාර්ය කෙනෙක්ගෙන්. ගොඩක් දුරට එහිදි ඇය බලාපොරොත්තු වෙන්නෙ මේ ප්‍රශ්නයෙ වෛද්‍යවිද්‍යාත්මක පැත්ත වෙන්න පුලුවන්. ඇය මේ ගැටළුව වෙනත් ෆෝරම් වලට නොදා, ජ්‍යෝතිශ්‍ය සම්බන්ධ කෙනෙක්ගෙන් නොඅසා, වෛද්‍යවරයෙක්ගෙන් අහන්නෙ මේ සම්බන්ධව ඇගේ තියන විද්‍යාත්මක ප්‍රවේශය නිසයි.
නමුත් මේ මහාචාර්ය තැන ඒකට උත්තර දෙන්නෙ සම්පූර්ණයෙන් විද්‍යාත්මක ප්‍රවේශයෙන් බැහැර වෙලා. ඔහු මෙච්චර කාලෙකට ඉගෙන ගත්ත විද්‍යා දැනුම, විද්‍යාත්මක අත්දැකීම්, ප්‍රශ්නයක් විසඳන් විද්‍යාත්මක ක්‍රම මේ සියල්ල පසෙක දාලා ඔහු එකවරම උත්තර දෙන්නෙ ඔහුගෙ පුද්ගලික ජීවිතයේ ඔහු දරාගෙන ඉන්න මති මතාන්තර වලින්. හරියට නිකම් තමන්ගෙ දරුවෙක් මේ විදියෙ විවාහයක් කරගන්න යනකොට ඒකට එරෙහි වෙද්දි වගේ. එතකොට ඒක ඔහුගෙ පුද්ගලික ජීවිතය. එහිදි තීරණ ගන්නකොට නූතන දැනුම පාවිච්චි කරනවද, පරම්පරාගත දැනුම පාවිච්චි කරනවද කියන එක ඔහුට බාරයි. නමුත් වෘත්තීය ජීවිතයේදී ඔහුට එහෙම බෑ. ඔහු ක්‍රියා කලයුත්තෙම යම්කිසි ප්‍රමිතියකට අනුව. ඒකෙදි ඔහුගේ පුද්ගලික විස්වාස, ඇදහිලි, මතිමතාන්තර අදාල නෑ.. මෙතනදි වෙලා තියෙන්නෙත් ඒක.
ඔහු නියම වෘත්තීය විදියට මේ ප්රශ්නය දිහා බැලුවොත් පත්තරයකින් උත්තරයක් දෙන්නෙ නෑ…. මේක හමුවෙලා සාකච්ඡා කලයුතු කාරණයක් බවට උපදෙස් දිය යුතුයි. ඒ සඳහා යා යුත්තේ කා ළඟටද කියා උපදෙස් දිය යුතුයි. උදාහරණයක් හැටියට මේකෙදි මේ විවාහය ව්යවහිචාරය ( incest ) ගණයට වැටෙනවද කියලා බලන්න නීතිමය උපදෙස් ගන්න යොමු කල යුතුයි. ඊට පස්සෙ විවාහය සඳහා සූදානම් වෙන්න අවශ්‍ය නම් කවුන්සලින් වලට යොමු කල හැකියි. ඉන් පසුව ළමුන් බිහිකරනවාද නැද්ද , බිහිකරනවා නම් ජානමය පරීක්ෂණ ( genetic screening ) , ළමයෙක් පිලිසිඳ ගත්තොත් දුබලතා හෝ අසාමාන්‍යතා පිලිබඳ ගර්භාශයේදීම පරීක්ෂන කිරීම, දරුවා බිහිකිරීමට සූදානම් කිරීම ආදී නොයෙක් ඒවාට අවශ්‍ය මග පෙන්වීම කල හැකියි. Genetic Counselling කියන්නෙ ලොකු විෂයක්. ඒකෙදි සේවාලාභීයාගේ කැමැට්ත අකමැත්ත අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්. ලංකාවෙ ඒ අවශ්‍ය පහසුකම් සහ යම් පමණකට ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන තියනවා. එහෙම නැතුව genetic counselling කියන්නෙ මෙතන කියනවා වගේ මෙහෙම ලේ නෑයින්ට විවාහ වෙන්න පුලුවන්ද කියලා අහපුවාම ඇඟටකඩා පැනලා බෑහ් කියන එක නෙමෙයි.
ලංකාවෙ ගොඩක් ඩොක්ටර්ස්ලට තියන ප්‍රශ්නයක් ඕක. යම් කෙනෙක් සෞඛ්‍යය ගැන හෝ වෙනයම් දෙයක් ගැන ප්‍රශ්නයක් අහලා ඒක විසඳන්න යම් උදව්වක් ඉල්ලුවොත් ගොඩක් වෙලාවට ලැබෙන්නෙ ඩොක්ටර්ට කැමති පිලිතුර. හරියට නිකම් ඩොක්ටර් ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්නා නම් එයාගෙ මති මතාන්තර, ඇදහිලි විස්වාස අනුව එයා ගන්න ක්‍රියාමාර්ගය වගේ. නමුත් හරි විදියට වෘත්තීය වශයෙන් කල යුත්තේ ගැටලුවට මුහුණදෙන කෙනා එක්කත් සාකච්ඡා කරලා, තමන් විද්‍යාත්මකව ගත්ත දැනුමත් ඒකට යොදවලා, ඒ ගැන ඒ පුද්ගලයාගේ අවබෝධය වැඩිකරලා, අවසාන තීරණය ගන්න එයාට උදව් කරන එක. ඒ තීරණය ක්‍රියාත්මක කරන්න ප්‍රායෝගිකව පහසුකම් සලස්සන එක. අවාසනාවකට මේ දේ අපේ ඩොක්ටර්ස්ල ළඟ පිහිටලා නෑ. ප්‍රොෆෙසර් මෙහෙම නම් අනිත් අය ගැන අහන්නත් දෙයක්ද.