වෛද්‍යවරයා යනු උසස් රැකියාවක්ද?

උත්තම මානසිකත්වය සහ Herd Mentality  ලංකාවේදී එකට එක් වූ කල…. 


මේ ලිපියේ අරමුණ වන්නේ මේ වනවිට ලංකාවේ වෛද්‍යවරුන්ගේ හැසිරීම් සහ ආකල්ප වලින් ගම්‍යවන මානසිකත්වය පිලිබඳ යම් විශ්ලේශනාත්මක විග්‍රහයක් කිරීමටයි. දැනට අපගේ බ්ලොග් අඩවිය එතරම් ව්‍යාප්ත වී නැතත් මේ ලිපිය යම් ඇවිස්සීමකට මුලපිරීමකට තරම් විවාදාත්මක කරුණු අන්තර්ගතයි. ඕනෑම විවේචනයක් බාර ගැනීමට සූදානම්. 
වර්තමානය වන විට වෛද්‍යවරයා පිලිබඳ සමාජයේ තිබෙන්නෙ එතරම් හොඳ පිලිගැනීමක් නොවේ. ඒ ගැන කිසිදු විවාදයක්  නෑ. මේ තත්ත්වය මීට අවුරුදු කීපයක සිටම පැවතුණත් මේ සයිටම් ප්‍රශ්නයේදී ඔවුන් හැසිරුණු ආකාරය නිසා මේ තත්වය වඩාත් නරක අතට හැරුණු බවයි අපගේ අදහස. මෙයට හේතුව මේ ලිපියේ මුඛ්‍ය අදහස වන පොදුවේ වෛද්‍යවරුන්ට අනන්‍ය සිතීමේ රටාව නිසා සිදූ වූවක්. සයිටම් ප්‍රශ්නයේදී සිද්ධ උනේ ඒ සිතීමේ රටාව උද්දීපනය වීම සහ එනයින් එලියට ගම්‍යවූ හැසිරීම වඩ වඩා සමාජයට නිරාවරණය වීමයි. දැන් අපි මේ සිතීමේ රටාව ගැන සොයා බලමු.
කුඩා කල පන්තියේදී ගුරුවරයෙකු හා සිසුවකු අතර ඇතිවන මේ මනකල්පිත දෙබස ගැන අවධානය යොමු කරන්න. මොහොතකට ඔබ සිසුවාට ආරෝපණය වී බලන්න. විශේෂයෙන් මේක කියවන වෛද්‍යවරුන්..

ගුරුවරයා – පුතා/ දුව ඔයා ලොකු උනාම කවුරුවෙන්නද කැමති?


සිසුවා – ඩොක්ටර් කෙනෙක්


ගුරුවරයා – හොඳයි.. ඇයි ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න කැමති?


සිසුවා – මම කැමතියි දුප්පත් අසරණ මිනිස්සුන්ට උදව් කරන්න. 


ගුරුවරයා – ඒත් ඇයි ඔයා එහෙම උදවු කරන්න ඩොක්ටර් කෙනෙක්ම වෙන්න ඕනෙ? ඔයාට පුලුවන්නෙ ගුරුවරයෙක් වෙලා දුප්පත් ලමයින්ට උගන්වන්න, නගර සභාවට බැඳිලා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න, ග්‍රාමසේවක කෙනෙක් වෙලා ගමේ මිනිස්සුන්ට උදවු කරන්න,….? 


සිසුවා – නෑ ටීචර් ඩොක්ටර් කෙනෙක් කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක වැඩ කරන කෙනෙක්නෙ. මම ඩොක්ටර් කෙනෙක් උනොත් මට ජීවිත කීයක් බේරගන්න පුලුවන් වෙයිද!


ගුරුවරයා – ඇයි පුතා ඉතින් ඔයා ආමි එකට හරි පොලිසියට බැඳුනොත් ඔයාට ඒ වගේම ජීවිත බේරගන්න පුලුවන්නෙ?  ඇම්බියුලන්ස් එකක ඩ්‍රයිවර් කෙනෙක් කොච්චර ජීවිත බේරනවද?  අවංකව කියන්නකො ඔයා ඇයි ඩොක්ටර් කෙනෙක් වෙන්න හිතුවෙ?
 

දැන් ඒ සිසුවා ඔබ නම් ඔබ මොකක්ද දෙන උත්තරය? ඇත්තටම ඇයි ඩොක්ටර් කෙනෙක් වෙන්නෙ? අපේ වෛද්‍යවරු ඇයි ඒ රස්සාව තෝරාගෙන තියෙන්නෙ? 
ඇත්ත උත්තරය තමා ඒ රස්සාවට ලැබිලා තියන ප්‍රතිරූපය. පොඩි කාලෙ ඉඳලා වෛද්‍යවෘත්තිය ගැන අපිට මවා පාලා තියෙන්නෙ ඒ ප්‍රතිරූපය තමා ඩොක්ටර් කෙනෙක් කියන්නෙ පූජනීය, උසස්, උතුම් , දෙවිකෙනෙක් වගේ තනතුරක් කියන එක. ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසාකරන පහේ පන්තියෙ පොඩි එකාගෙ ඉඳලා හිත්වල රෝපණය වෙන්නෙ මේ ප්‍රතිරූපය. මේක දලුදාලා දලුදාලා මුල් ඇදලා තියන හිතින් උසස්පෙලට තෝරගන්නවා ජීව විද්‍යා විෂය දහරාව. පහේ පන්තියෙදි වගේ ෆැන්ටසියකින් නෙමේ මෙතනදි තීරණය එන්නෙ සවිඥානිකව. නමුත් මෙතනදිත් ගාමක බලය වෙන්නෙ මේ කියපු ප්‍රතිරූපය. මේ ගාමක බලය මේ පුද්ගලයාගෙ ජීවිතය පුරාම බලපවත්වනවා. මේ හිතෙන් මවාගෙන ඉන්න ප්‍රතිරූපය ( idealise ) අනුව තමයි තමුන්ගෙ ජීවිතය පුරාවටම හිතන පතන විදිය තීරණය වෙන්නෙ. 
මෙහෙම ඉඳලා මේ ශිෂ්‍යයා වෛද්‍ය පීඨයට යනවා. ඔහු එතැන් පටන් මුහුණදෙන දුෂ්කරතා වලට සමාන්තරව  ඔහුගේ හිතේ ඉන්න අර ප්‍රතිරූපයත් මුහුණ දෙනවා, ඒ ප්‍රතිරූපයත් තව තව මෝරනවා. ඒ දුෂ්කරතා වලදි ඔහු හිත හදා ගන්නෙ අනාගතයේදී ඔහු ඉන්න තැන ගැන මනසේ ඇඳෙන චිත්‍රය ( ප්‍රතිරූපය ) ගැන හිතලා. මෙහෙම නඩත්තු කරන ප්‍රතිරූපය වෛද්‍ය පීඨයෙන් එලියට එනකොට ගොඩක් මෝරලා.. පීඨයට ඇතුලුවෙනකොට හිතේ තිබුන රූපයට වඩා ලොකු demand එකක් තියන රූපයක් හිතේ ඇඳිලා ඉවරයි.
දැන් මේ වෛද්‍යපීඨයේ ඉන්න ශිෂ්‍යයා ආශ්‍රය කරන්නෙ ඒ හා සමානම සිතීම් රටාවක් තියන පිරිසක්. ඔවුනොවුන් තනිතනිව හිතන විදිය සමානයි. එහෙම වෙන්නෙ මේ සෑම කෙනෙක්ගෙම ඉලක්කය, අභියෝග, මුහුණ දෙන දුෂ්කරතා ආදිය සෑම කෙනෙක්ටම බොහෝදුරට අදාල නිසා. අනෙක් කාරණය මෙතනදි මුලින් සඳහන් කරපු හිතේ ඉන්න ප්‍රතිරූපය එකක් වීම. ඉතින් මේ කරුණු කාරණා ඔක්කොම ගත්තම මේගොල්ලො හිතන්න පතන්න ගන්නෙ එකම විදියට.
මේකට කියන්නෙ Herd Mentality කියලා.  නමින් ඇඟවෙන්නා වගේම මේක ගොඩක් දකින්න ලැබෙන්නෙ රංචු වශයෙන් ඉන්න සතුන් අතරෙ. උදාහරණයකින් ගත්තොත් කොටියෙක්ගෙන් බේරෙන්න දුවන මුව රංචුවක් ගත්තොත් මේ රංචුවෙ හැම මුවාම ඒ වෙලාවෙ හිතන්නෙ කොටියගෙන් බේරෙන්න පුලුවන් තරම් වේගෙන් රංචුව මැද්දට වෙන්න දුවන්න ඕනෙ කියලා. ඉතින් පිටින් බලන් ඉන්න කෙනෙක්ට පෙනෙන්නෙ එකිනෙකාට තෙරපි තෙරපි කොටියගෙන් ඈතට දුවන මුව රංචුවක්. වෛද්‍ය වෘත්තියෙදිත් මේ රටාව ගොඩක් නිරීක්ෂණය කරන්න පුලුවන්.  කැම්පස් කාලෙ ඉඳලා එකම විදියට හිතන පිරිසක් එක්ක ඉන්නකොට මේ තත්ත්වය ඇතිවීම ස්වභාවිකයි. හැමෝගෙම හිත්වල තියෙන්නෙ එකම බලාපොරොත්තු  , එකම බිය, එකම සන්තාපයන්. නොදැනුවත්වම herd mentality වලට යනවා.. 
මේක මම හිතන්නෙ ලංකාවෙ අපට විතරක් දකින්න පුලුවන් ලක්ෂනයක් නොවෙයි. නමුත් ලංකාවෙදී මේකට එකතුවෙනවා තමන් අනිත් අයට වඩා උසස් කියලා හිතන “උත්තම මානසිකත්වය”. මේ විදියට හිතෙන එක වෛද්‍යවරුන්ට ආවේනික ලක්ෂනයක් නෙමෙයි. වෙනත් සමාජයේ උසස් විදියට සැලකෙන වෘත්තීන් බොහොමයක තියෙන්න ඉඩකඩ තිබෙනවා. මේ දේ වෛද්‍යවරුන්ගේ වඩා කැපී පෙනෙන්නෙ ඔවුන් මිනිස්සුන්ට වඩා සමීප, වඩා සංවේදී කරුණු එක්ක ගනුදෙනුවක යෙදෙන නිසා කියලා හිතන්න පුලුවන්. එහෙම යෙදිලා ඉන්න නිසා ස්වභාවිකවම මිනිස්සුන්ගෙ කෘතවේදීත්වය, ස්තූතිය, කොටින්ම ලකුණු ලැබෙනවා.  ඒ ස්වභාවිකව සහ රෝගියා විසින් ආයාසයකින් තොරව ප්‍රදානය කරන ගෞරවය කාලයක් යනකොට තමාට ලැබිය යුතු අයිතිවාසිකමක් විදියට වෛද්‍යවරයා තේරුම් ගන්නවා. මේ කාරණයේදී රෝගියාගේ/සාමාන්‍ය පුරවැසියාගේ පැත්තෙනුත් වැඩවසම් හැසිරීමක් නිරීක්ෂණය කරන්න පුලුවන්. මේක මෙපමණ උඩුදුවන්න ඔවුනුත් වගකිවයුතුයි. ඒක් වෙන දවසක කතා කරමු. නමුත් වඩා ලොකු ප්‍රශ්නය වෙන්නෙ වෛද්‍යවරුන් තමා විසින් දිනාගතයුතු ගෞරවනීයත්වය, තමාට හිමි දෙයක් විදියට නඩත්තු කරගෙන යන එක. තනි තනි පුද්ගලයො හැටියට නොව වඩා විශාල කණ්ඩායමක් විදියට කුලවාදී , ගෝත්‍රවාදී දැක්මක් කරා මේ මානසිකත්වය විහිදිලා යනවා. මේක රටක දේශපාලනය එක්ක එකතු වුනාම තව දරුණු වෙනවා. සෑම කාරණයකදීම තමාගේ දැක්ම , තමා දරන ස්ථාවරය මත පිහිටලා කටයුතු කල යුතුයි කියන නාසිසිසම් තත්වයට දැන් ප්‍රශ්නය ඔඩු දුවලා තියෙන්නෙ. සයිටම් ප්‍රශ්නය විතරක් නෙමේ වෙලඳගිවිසුම් අත්සන් කරන එක වගේ රටක දැවැන්ත දේශපාලන තීන්දුවලට බලපෑම් එල්ල කලහැකියි, එල්ල කලයුතුයි කියන තැනට මේ සිතීමේ රටාව ඇවිල්ලා ඉවරයි. “ඩොක්‍ටර් ඩොක්ටර්ගෙ වැඩක් බලාගෙන ඉන්න” කියලා කටක් ඇරලා කියන්න බැරි වෙලා තියෙන්නෙ සමාජයෙ තියන ඩොක්ටර්ස්ල දිගටම නඩත්තු කරගෙන යන මේ පිස්සුවිකාර ගෞරවනීය තැන නිසා.. ඒ බම්බුවෙ නම්බුව නිසා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s