Featured

ආයතනගත වීමට ඇති ආසාව


නීති රීති වලට යටත් වෙන්න , ආයතනගත වෙන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන්නෙ පුදුම ආසාවක්. මේක හොඳටම දකින්න ලැබෙනවා රෝහල් වලදී. අපේ මිනිස්සුන්ගෙ සෞඛ්‍යය ගැන තියන  මූලික දැනුම, සෞඛ්‍ය සේවා වලට යොමු  වීමේදී දකින්නට ලැබෙන ප්‍රාථමික හැසිරීම වගේ කරුණු තවදුරටත් රෝහල් වලදී නිරීක්ෂණය කරන්න පුලුවන්.
මූලික සෞඛ්‍ය සත්කාරය එහෙම නැත්නම් primary health care කියන සංකල්පය ලංකාවෙ ක්‍රියාත්මක වෙන්නෙ හරිම නොදියුණු විදියට. මේ සංකල්පයට අනුව යම් ප්‍රතිකාරයක්දි එහි වැඩි වගකීමක් ගන්න ඕනෙ රෝගියා. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කෙනෙක්ට තියෙන්නෙ අවශ්‍ය කරන උපදෙස් , ප්‍රතිකාර නිර්දේශ කරන එක විතරයි. ඒ කාරණයට විතරක් වෛද්‍යවරයෙක්ව හමු උනා නම් ඇත්තටම ඇති. රෝහලකදි මේ සඳහා ඇත්තටම අවස්ථාව තියෙන්නෙ බාහිර රෝගී අංශය, සායන වගේ අංශ වලින්. නමුත් රෝගීන් පුරුදු වෙලා ඉන්නෙ සම්පූර්ණයෙන් වෙනස් ක්‍රමයකට. සරල උදාහරණයක් ගමුකො.
උණ තියන රෝගියෙක් සලකමු. ඇත්තටම සාමාන්‍ය සෞඛ්‍ය දැනීමක් ඇති කෙනෙක් උණ ගැනෙන පළවෙනි දවසෙම ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙක්ට යොමු වීමේ අවශ්‍යතාවය තමන්ගෙ දැනුමෙ හැටියට මැනලා බලනවා. ඒ කියන්නෙ එක දවසෙ උණකට හැම වෙලාවෙම වෛද්‍යවරයෙක් මුණගැහෙන්න ඕනෙ වෙන්නෙ නෑ. ඒක සාමාන්‍ය දැනීම. සමහර අවස්ථා තියනවා එහෙම එක දවසෙ උණකට වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ගන්න ඕනෙ කරන. ඒකත් සාමාන්‍ය දැනීම ( common sense ). උදාහරණයකට උණත් එක්ක වෙන අසාමාන්‍ය රෝග ලක්ෂන පහල වෙනවා නම්, උණ අසාමාන්‍ය විදියට තදට ගැනෙනවනම්, විශේෂ බෝවන උණ රෝගයක් පැතිරෙන කාලයක් හෝ ප්‍රදේශයක දී වගේ නම් උණ හැදෙන පළමු දවසෙදිම වෛද්‍ය වරයා හමුවන එකේ වරදක් නෑ. මේ හැරුනු විට වෙන ඕනෑම උණකදි ඇත්තටම අවශ්‍ය වෙන්නෙ උණ පාලනය කරන්න පැය හයෙන් හයට පැරසිටමෝල් කියන බේතයි, විවේකයයි, වැඩිපුර දියර වර්ග ගැනීමයි විතරයි.  මේ විදියට මුලින් ටිකක් බලලා දවස් තුනක් විතර යනකොට උණ අඩුවුනේ නැත්නම් හරි අර මුලින් කියපු අසාමාන්‍ය රෝග ලක්ෂන මතුවුනොත් හරි වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕනෙ. ඒ වෛද්‍යවරයා බලලා අවශ්‍ය පරීක්ෂණ එහෙම කරලා නේවාසිකව ප්‍රතිකාර කරන්න අවශ්‍ය නම් ඒක නිර්දේශ කරයි. එතකොට තමා ඇට්තටම නැවතිලා ප්‍රතිකාර ගන්න ඕනෙ. නමුත් අපේ අය පුරුදුවෙලා ඉන්නෙ වෙනත් දෙයකට. අපේ අයගෙ පිලිවෙල වෙන්නෙ මෙහෙම.
අද මේ දැන් උණ හැදුනොත් හරි, නිකම් උණ හැදෙන්න වගේ තිබුනොත් හරි , අම්මෝ බලන් ඉඳලා බෑ. ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න ඕනෙ. සල්ලි නැති ආර්ථිකව පහල මට්ටමේ ඉන්න කෙනෙක් නම් යනවා opd එකට. පොඩ්ඩක් හරි රුපියල් පන්සීයක් හොයාගන්න පුලුවන් කෙනෙක්නම් යනවා ප්‍රයිවට් බේත් දෙන සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් ගාවට. සල්ලි යහමින් තියන කෙනෙක් නම් යනවා කෙලින්ම consultant කෙනෙක් ගාවට. මේ කොහෙන් හරි ගිහින් අර පැරසිටමෝල් විතරක් බීලා නිවාඩු පාඩුව ගෙදරට වෙලා ඉඳලා සනීප කරගන්න තිබුන අසනීපෙ සල්ලි වියදම් කරලා හෝ ආණ්ඩුවෙ සල්ලි නාස්ති කරලා හෝ බොරුවට දොස්තර දෙන බේත් වලින් සනීප කරගන්න යනවා. බැරි වෙලා හරි උණ දවස් තුනක් තිබුනොත් ?? “අම්මෝ මේ එනපොට නම් හොඳ නෑ. ඩොක්ටර්ගෙ බේත් වලට අඩු උනෙත් නෑනෙ. ගිහින් වාට්ටුවෙ නවතින්න ඕනෙ. ” එහෙම කියලා ගිහින් නවතිනවා වාට්ටුවෙ. ඉතින් හරි විදියට නම් පළමුවෙන්ම opd හරි private හරි ඩොක්ටර් කෙනෙක්ව හමු වෙන්න තිබෙන අවස්ථාවෙ ගිහිල්ලා වාට්ටුවෙ නතර වෙනවා. නතර වෙලා වාට්ටුවෙ ඉඳගෙන පැරසිටමෝල් පෙත්ත විතරක් බොනවා. එක පාරක් ලේ මුත්‍රා බලනවා. පහුවදා උණ අඩු වෙනවා. ඉතින් ටිකට් කපලා ගෙදර එනවා. මේ ටිකම opd එකේදි හරි ඩිස්පෙන්සරි එකේදි හරි assess කරගන්න තිබුනා. 
මෙහෙම වෙන්නෙ ඇයි?
ඒක තමා ආයතන ගත වීමට මිනිස්සුන්ගෙ තියන ආසාව. තමන්ගෙ සෞඛ්‍යය ගැන තමුන්ට තීරණ ගැනීමේ බිය සහ මැලිකම. එහෙම තීරණ ගැනීමෙ බලයට බයක් එනකොට , ඒ බලය වෙන කාටහරි ( ඩොක්ටර් ) පවරලා , ආයතනයක ව්‍යුහ ගත වෙලා ( ඉස්පිරිතාලෙ ), නීතිරීති වලින් තමන්ව ටික වෙලාවකට පාලනය කරන්න කියලා යටත් වෙන්න අපේ අය කැමතියි. මේක මම මේ කියපු කාරණා එක්ක විසංයෝජනය කරලා බලමු. අහෙම්.. !
1.තීරණ ගැනීමේ බලය 

එහෙම බලයක් අපේ මිනිස්සුන්ට ඇලජික්. කොටින්ම ස්වාධීන කියන සංකල්පය අපේ අයට අලුත්. තනියම තීරණයක් ගැනීම කියන්නෙ තව කවුරුහරි කියන දේකට අවනත නොවීම නෙමේ. නෑ නෑ. ඒක නෙමෙයි. ඒක තමා මම කීවෙ ස්වාධීන කියන සංකල්පය අලුත් කියලා. මෙතනදි ඇත්තටම ස්වාධීන නම් විලෝපිකයාව අමතක කරන්න ඕනෙ. හතුරෙක් තර්ජනයක් නැති තැන අපි හැසිරෙන්නෙ කොහොමද? අන්න එතන තමයි නියම ස්වාධීන කම තියෙන්නෙ. හරියට පාලු දූපතක තනියම ඉන්නකොට වගේ. කාට මොකට බය වෙනවද. මේ ප්‍රශ්නෙදිත් එහෙමයි. තමන්ගෙ හෙල්ත් එක ගැන තමන්ට තීරනය කිරීමේ අධිකාරී බලයක් හැම කෙනාටම තියනවා. (ඔන්ලි එක්සෙප්ෂන් එක සියදිවි හානි කරගැනීම සහ යුතෙනේසියා එක පමණයි. ඒකත් දැන් විවාදයට ගැනෙනෙවා. ) ඉතින් තමන් ඉන්නෙ තමන්ගෙ දූපතේ කියලා හිතාගෙන තීරණය ගන්නයි තියෙන්නෙ. ඒත්… අපේ අයට?? බෑ අපේ අයට මේ සංකල්පය අලුත්. ඒ ගොල්ලො හැම වෙලාවෙම ඉන්නෙ කවුරුහරි කෙලවලා දායි කියලා බයකින්. ස්වාධීන කියන අදහසට උනත් ඒ ගොල්ලොන්ගෙ අර්ථකතනය වෙන්නෙ “උඩින් කවුරු හරි කියන එකට අවනත නොවීම” කියන එක. ඉතින් මේ ලේ වලට කිඳා බැහැපු බය අත ඇරලා එන්න බැරි නිසා තමන්ගෙ සෞඛ්‍ය ගැන තමන්ට තීරණයක් ගන්න බෑ.

2. නීති රීති වලට යටත් වීම. 

මේක ස්වාධීන නොවීම කියන එකට එන ඊලඟ ස්ටෙප් එක වෙනවා. තමුන් ස්වාධීන නැත්නම් තමන්ගෙ පැවැත්මට නීති රීති ඕනෙ වෙනවා. හරියට ව්‍යුත්පන්න කරොත් තමන්ගේ ආරක්ශාවට තමන් කරන්න ඕනෙ මොනවද, නොකරන්න ඕනෙ මොනවද කියලා වෙනත් කවුරුන් හරි විසින් නියම කරලා තියෙන්න ඕනෙ. ඉස්පිරිතාලෙදි නම් පැරසිටමෝල් පෙත්ත බොන්න ඕනෙ කීයටද , නැගිටින්න ඕනෙ කීයටද, නිදාගන්න ඕනෙ කීයටද, කන්න ඕනෙ මොනවද, කන්න පුලුවන්ද බැරිද, නාන්න පුලුවන්ද බැරිද ආදී වශයෙන් මේ සියලු දේවල් වාට්ටුවෙන්ම නියම කරනවා. හරි ලේසියි. තමන් ගෙදර හිටියනම් ( ස්වාධීන ) මේ සේරම තීරණය කරන්න ඕනෙ තමුන්මයි. අපෝ එහෙම බෑ. මට කවුරුහරි කියන්නම ඕනෙ.

3. ආයතන ගත වීම.

මේ තීරන ගැනීමේ බලය, නීති රීති හරියට සංවිධානය වුනු ලස්සන පද්ධතියක් තියනවා නම් වැඩේ ලේසියි. එතකොට එක වහලක් යටින් මේ ඔක්කොම කරගන්න පුලුවන්. ඔන්න එතකොට රෝහල කියන වටිනා ආයතනය එනවා. මේ ආයතනයෙ මේ ඔක්කොම තියනවා. තීරණ ගැනීමේ බලය ඩොක්ටර්ට දීලා තියනවා. නීති රීති තියනවා. ඒවා ක්‍රියාත්මක කරන්න පරිසරය සහ පුද්ගලයො ඉන්නවා.. ශහ්!! ස්වාධීන නැති කෙනෙක්ට ඉන්න කියාපු තැන. 

ඔන්න ඔහොමයි අපේ අය ආයතනගත වෙන්නෙ. 
මේක කොහොමද වෙනස් කරන්නේ?? ඊළඟ ලිපියෙන්.

ආයතනගත වීමට ඇති ආසාව 2

පළමු ලිපියෙන් ලංකාවේ මිනිස්සුන්ගෙ ආයතන ගත වෙන්න තියන ආසාව රෝගීන් ආශ්‍රයෙන් සාකච්ඡා කලා. මේ ලිපියෙන් ඒ ගතිය වෙනස් කරන්නෙ කොහොමද කියලා කතා කරනවා. 
මේ හැසිරීමට හේතුව ලෙස විස්තර කලේ ස්වාධීනව තීරණ ගැනීමේ නොහැකියාව සහ මැලි කම. එතකොට මේ ප්‍රශ්නයට උත්තරේ විදියට තියෙන්නෙ මේ “ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව ” ඇති කරන්නෙ කොහොමද කියන කාරණය මතයි. 
මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. කෙටි කාලයකින් කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. කෙනෙක්ට ස්වාධීනව තීරන ගැනීමේ බලයක් ඇති කරන්න නම් ඒක හරි විදියට කරන්න ඕනෙ. ඒක වල්බූරු නිදහසක් විදියට දෙන එක භයානකයි.  යම් ස්වාධීනත්වයක් ඇතිකරගන්න නම් ඒ ස්වාධීන වෙන කෙනාට තමන් විසින් ගන්නා තීරණවල බර ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ. එහෙම බර ගැන අවබෝධයක් ලැබෙන්න නම්  තීරණ ගැනීමේ පසුබිම හරියට සකස්වෙලා තියෙන්න ඕනෙ. මේ පසුබිම තමා අධ්‍යාපනය. 
විධිමත් හා අවිධිමත් කියන අධ්‍යාපන ක්‍රම දෙකම මේකෙදි ප්‍රයෝජනයට ගන්න පුලුවන්. මූලිකවම පාසල් අධ්‍යාපනයේදී සෞඛ්‍යය ගැන මූලික දැනුමක් ලබාදීම අනිවාර්‍යය කරුණක්. මේ දැනුම හුදෙක් සිද්ධාන්තමය කරුණු වලට එහා ගිය ප්‍රායෝගික, ව්‍යවහාරික ( applicable ) දැනුමක් විය යුතුයි. Fundamentals ගැන අවබෝධයක් ලැබීම කෙනෙක්ගෙ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කරාවි. මේ පාසල් අධ්‍යාපනයේදී අනිවාර්යයෙන් ලැබියයුතු තවදෙයක් තමා සෞඛ්‍යයට සම්පත් කාර්යක්ෂව භාවිතයට ගන්නේ කෙසේද කියන කාරණය. මේක ඇත්තටම සෞඛ්‍යය පැත්තෙන් විතරක් නෙමේ එදිනෙදා ජීවිතයේදී යෙදෙන ඕනෑම කාරණයක් වෙනුවෙන් පාවිච්චි කරන්න ගන්න පුලුවන්. අපේ අධ්‍යාපන ක්‍රමයෙදි නොකෙරෙන්නෙත් ඒක. අපිට සේවා ලබා ගන්න තියන ආයතන යාන්ත්‍රණ මොනවද, ඒවයින් සේවා ලබා ගන්නා ආකාර මොනවද, තියන සීමා මොනවද, අඩුපාඩු මොනවද කියන දැනුම ප්‍රායෝගික තලයෙන් ලබා දීමක් සිදුවෙන්නෙ නෑ. උදාහරණයක් හැටියට බැංකුවකට ගිහින් වැඩක් කරගන්නෙ කෙහොමද, රාජ්‍ය ආයතනයකට ගිහින් වැඩක් කරගන්නෙ කොහොමද, රටේ තියන විව්ධ රජ්‍ය ආයතන වල විවිධ සේවා බෙදිලා යන්නෙ කොහොමද වගේ කාරණා සියලු දෙනාම දැන ගන්නෙ පාසල් අධ්‍යාපනය හරහා නෙමේ තම තමන්ගෙම අත්දැකීම් හරහා. මේ හේතුව නිසා මේ සේවාවන් අපතේ යන අවස්ථා බොහෝයි. සෞඛ්‍යය පැත්ත ගත්තම මේ තත්වය අන්තිමයි.  

මූලිකවම මේ විධිමත් අධ්‍යාපනය මිනිසුන්ගෙ සාක්ශරතාව ( අකුරු කියවීමේ ලිවීමේ හැකියාවම නෙමේ ) දියුණු වුනාම මේ ප්‍රශ්නය නිකන්ම හරියයි. නමුත් ඒ වෙනකම් දශක ගානක් බලන් ඉන්න වෙනවා. මේ ක්‍රියාදාමය ඉක්මන් කරන්න අවිධිමත් අධ්‍යාපනය උදවු කරගන්න පුලුවන්. මේකට මිනිසුන්ගේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඇති අවස්ථා පුලුල් කරන්න වෙනවා. මේ අවස්ථාවලට යම් මිලක් ගෙවීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්. එසේ “මිල ” කියන සාධකය “සේවාවට” ඉදිරියෙන් වැටුනම මේ “සේවාව” ලබාගැනීමට ස්වයං අධ්‍යනයක් කරන එක සේවාව ලබා ගන්න කෙනාට අනිවාර්යයෙන්ම කරනවා. මොකද ඒ සේවාවෙ ප්‍රයොජ්‍ය වටිනකම ගෙවන්නෙ තමා විසින්ම නිසා ඒ තක්සේරුව නිවැරදිද යන්න තමන් විසින්ම සොයාබලන්න සිද්ද වෙන නිසා. ඒක තමා නියමම අවිධිමත් අධ්‍යාපනය. මේක නොමිලේ ලැබෙන සේවයකදි කෙරෙන්නෙ නෑ. උදාහරණයක් වශයෙන් නොමිලේ ලැබෙන රෝහල් සේවාවකදි ඒ සේවාවෙ වටිනාකම ගෙවන්නෙ තමන් නොවන නිසා එතනදි ඒකෙ ප්‍රයෝජ්‍ය වටිනාකම තක්සේරු කරන එකේ බරක් තමන්ට දැනෙන්නෙ නෑ. අධ්‍යාපනයෙ අවශ්‍යතාවයක් එතනදි මතු නොවෙන්නෙ ඒ නිසා.  සේවාවන් පෞද්ගලිකකරණය කිරීම ධනාත්මක වෙන්නෙ ඒ අර්ථයෙන්. 
සේවාවන් පුද්ගලිකකරණය වීම ලංකාවෙ සෞඛ්‍යය පැත්තෙන් ගත්තම ගොඩක් දුර්වල අවධියක තියෙන්නෙ. මේක රාජ්‍ය එහෙමත් නැත්නම් නිදහස් සෞඛ්‍ය සේවයෙන් වෙනස් වෙන්නෙ බොහොම පොඩ්ඩකින්. නමුත් මම මේක දකින්නෙ නිදහස් වෙලඳපොල පරිණාමයේදි ලංකාව පෙන්නුම් කරන හෙමින් ගමනෙම තව එක අංගයක් විදියටයි. හෙමින් උනත් ලංකාව කවදහරි හොඳ වෙලඳපොලක් බිහිකරන එක අනිවාර්‍යයි. සරල නිරීශණයක් විදියට මේ වෙනකොට අන් සියලු භාණ්ඩ හා සේවාවන් වල පුද්ගලික අංශය අත්පත් කරගෙන තියන දියුණුව දැනට අවුරුදු දහයකට විතර කලින් වෙලඳපොලත් එක්ක සන්සන්දනය කරලා බලන්න පුලුවන්. මේ කාරණයෙදි කෙනෙක්ට වෙලඳපොලේ තියන බාල ප්‍රමිතියෙන් තොර තැන් පෙන්වල දෙන්න පුලුවන්. නමුත් ඒවා නුදුරු අනාගතයේදී ක්ශීන වෙලා යන්න නියමිතයි. නමුත් කොච්චර හොඳ වෙලඳපලක උනත් මේ වගේ යම් යම් බාල දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්. කලයුත්තෙ මේ දේවල් හැකිතාක් අවම කරගන්න , ඒවා වෙලඳපල විසින්ම ප්‍රතික්ශේප වෙන්න දියුණු වෙලඳපොලක් බිහිකරන එක. එහෙම නැතුව ආපහු සියල්ල රාජ්‍යකරණය කරන එක නෙමේ. 
මේ දියුණු නිදහස් වෙලදපොලක් ඇති කරගත්තට පස්සෙ මිනිස්සුන්ට සේවාවන් ලබා ගැනීමේදී තියන අවස්ථාපරමාණය වැඩි වේවි. අවස්ථා බහුවිධ වේවි. සෞඛ්‍යය පැත්තෙන් ගත්තම මිනිස්සුන්ට සෞඛ්‍ය සේවා ලබා ගන්න තියන තෝරාගැනීම් වැඩි වේවි. මේ තෝරාගැනීම් අතර තරඟය වැඩිවෙනකොට වඩා නිවැරදි තෝරාගැනීම කරන්න හොඳ අධ්‍යනයක් කිරීම අනිවාර්යයෙන් කරන්න වේවි. මේ විදියට සබුද්ධික විනිශ්චයක් ඇතුව සේවාවන් භාවිත කරන්න පටන් ගත්තම මිනිසුන්ට තමන්ගෙ සෞඛ්‍යය ගැන වඩා හොඳ තීරණ ගන්න හොඳ දැනුමක්, පුහුණුවක් ලැබෙයි. වඩා දියුණු ලෝකයකින් බලාපොරොත්තු වෙන්න ඕනෙ ඒකයි.
ඔව් සියල්ල බැඳ ඇති බැමි ලිහිල් කිරීම තමා විසඳුම.